ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් අසර්බයිජානයේ සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව අසර්බයිජාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කර සිටී. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම ප්‍රහාරයන් එල්ල වී ඇත්තේ නක්චිවන් (Nakhchivan) ස්වයං පාලන සමූහාණ්ඩුව ඉලක්ක කර ගනිමින් වන අතර ඉන් සිවිල් ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව තිබේ.
අසර්බයිජාන විදේශ අමාත්‍යාංශයට අනුව එක් ඩ්‍රෝන යානයක් නක්චිවන් ගුවන් තොටුපළේ පර්යන්ත ගොඩනැගිල්ලට පතිත වී ඇති අතර ඉන් එම ගොඩනැගිල්ලට බරපතල හානි සිදුව ඇත. තවත් ඩ්‍රෝන යානයක් ශකරාබාද් (Shakarabad) ගම්මානයේ පාසල් ගොඩනැගිල්ලක් අසලට පතිත වී ඇති බව ද වාර්තා වේ. මෙම ප්‍රහාරයන් හේතුවෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රහාරය එල්ල වූ ස්ථානවල දේපළවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.
මෙම සිදුවීමත් සමඟ ඉරානය සහ අසර්බයිජානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්ව ඇති අතර කලාපීය ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර අවධානය ද මේ වන විට යොමුව තිබේ.














