ලෙබනනයේ අගනුවර වන බේරූට් (Beirut) හි දකුණු තදාසන්න ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය විසින් අද අලුයම ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. ලෙබනනයේ රැඳී සිටින ඉරාන නිලධාරීන්ට එරටින් පිටව යාම සඳහා ඊශ්‍රායල රජය ලබා දී තිබූ අවසන් දින වකවානුව කල් ඉකුත් වීමත් සමඟ මෙම ප්‍රහාර ආරම්භ වී තිබේ.
අද අලුයම එල්ල වූ මෙම ප්‍රහාර මාලාව දකුණු බේරූට් ප්‍රදේශයට මෙන්ම ඒ අසල පිහිටි ගොබෙයිරි (Ghobeiry) සහ හරෙට් හ්‍රෙයික් (Haret Hreik) යන ප්‍රදේශවලට එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මෙම ප්‍රහාර හේතුවෙන් දේපළ හානි සිදුව ඇති බව වාර්තා වුවද, කිසිදු ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැත.
ඉරාන නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය පනවා තිබූ කාලසීමාව අවසන් වීමත් සමඟ එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වී තිබේ. ඉදිරි පැය කිහිපය තුළ මෙම ප්‍රහාරවල බලපෑම පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














