ඇස්ටන් මාටින් කණ්ඩායමේ ප්‍රධානී ඒඩ්‍රියන් නිව්වේ පවසන්නේ ඔවුන්ගේ නව හොන්ඩා එන්ජින්වල පවතින අධික කම්පනය හේතුවෙන් රියදුරන්ගේ ස්නායු පද්ධතියට ස්ථිර හානි සිදුවීමේ දැඩි අවදානමක් පවතින බවයි. නව ෆෝමියුලා 1 තරග වාරය ආරම්භ වීමට ආසන්නව තිබියදී ඔහු මේ බව අනාවරණය කළේ හොන්ඩා සහ ඇස්ටන් මාටින් අතර ඇති කරගත් නව සහයෝගීතාවයේ ආරම්භයේදීම මතු වී ඇති බරපතල තාක්ෂණික අර්බුදය ලොවට හෙළි කරමිනි. ධාවන වට 25ක් වැනි කෙටි කාලයක් තුළදී වුවද මෙම අධික කම්පනය මගින් රියදුරන්ට ස්නායු ආබාධ ඇති කළ හැකි බවට ඔහු අනතුරු අඟවා තිබේ.
මෙම එන්ජින් කම්පනය මෝටර් රථයේ සැකිල්ලට (Chassis) සෘජුවම බලපාන බැවින් රථයේ කණ්ණාඩි සහ පසුපස ලාම්පු පවා ගැලවී යන තරමට විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු මතු වී ඇති බව නිව්වේ පෙන්වා දෙයි. මේ හේතුව නිසා පූර්ව තරග පුහුණුවීම්වලදී අවම දුරක් ධාවනය කළ කණ්ඩායම බවට ඇස්ටන් මාටින් පත් වූ අතර එළඹෙන ඉරිදා පැවැත්වෙන ඕස්ට්‍රේලියානු ග්‍රෑන්ඩ් ප්‍රී තරගය සාර්ථකව නිමා කිරීමට මෙම තත්ත්වය දැඩි බාධාවක් වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














