අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළදී සිරකරුවෙකුගේ හිසට ගලකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට තංගල්ල මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා අද (05) මරණීය දණ්ඩනය නියම කළේය. මෙලෙස මරණ දඬුවම නියම වූයේ කොළඹ මෝදර වීදියේ පදිංචිව සිටි 40 සහ 49 වයස්වල පසුවන ලහදපුරගේ නිමල් හෙවත් ‘යකඩයා’ සහ කුරුකුලසූරිය බාලපුවඩුගේ බැසිල් මෙන්ඩිස් යන අයටයි. වෙනත් මිනීමැරුම් නඩුවකට අදාළව දැනටමත් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටි මොවුන් දෙදෙනා, 2018 නොවැම්බර් 16 වැනිදා බන්ධනාගාරය තුළදීම හේවා ඇලපාතගේ මේනක සංජීව හෙවත් ‘උක්කුවා’ නමැති සිරකරුවෙකු මෙලෙස ඝාතනය කර තිබුණි.
අඟුණකොළපැලැස්ස පොලිසිය මගින් සිදු කළ විමර්ශනවලින් අනතුරුව නීතිපතිවරයා විසින් 2024 වසරේදී විත්තිකරුවන්ට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබීය. දීර්ඝ නඩු විභාගයකින් පසු විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වීම හේතුවෙන් විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය පමුණුවන තෙක් විත්තිකරුවන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කෙරුණු අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ එරංග යකන්දාවල මහතා පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.














