නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයේ අළු පෙරහන් පද්ධතියේ (Fly Ash Filters) පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අතිවිශාල පියාසර අළු ප්‍රමාණයක් පාලනයකින් තොරව වායුගෝලයට මුදාහැරෙමින් පවතින බව වාර්තා වේ. බලාගාරය සඳහා භාවිත කරන බාල ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු මෙම තාක්ෂණික බිඳවැටීමට මූලික හේතුව වී ඇති බව බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පෙන්වා දෙයි. මේ හේතුවෙන් බලාගාරයේ දුම් කවුළුවෙන් පිටවන අළු අවට වගාබිම්වලට සහ ජනාවාසවලට දැඩි බලපෑම් එල්ල කරමින් පවතින අතර, ප්‍රදේශවාසීන්ට ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව ද ඔහු අවධාරණය කරයි. පවතින තත්ත්වය හදිසි පාරිසරික සහ සෞඛ්‍ය අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතින බැවින්, බලධාරීන් මේ පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු බව රලපනාව මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා වැඩිදුරටත් ඉල්ලා සිටියි.














