පසුගිය බදාදා අමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරයකින් විනාශ වූ ‘IRIS Dena’ ඉරාන යුද නෞකාවේ සහායක නෞකාවක් ලෙස සැලකෙන දෙවන නෞකාවක් පානදුර මුහුදු තීරයට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේ රැඳී සිටින බව වාර්තා වේ. එම නෞකාවේ සිටින 100කට අධික කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආහාර සහ පානීය ජලය ලබාගැනීම සඳහා පැය 24ක කාලයකට මෙරට වරායක් වෙත ඇතුළු වීමට අවසර ඉල්ලා ඇති අතර, ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තහවුරු කළේ මෙම නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව පවතින නමුත් ආරක්ෂක හේතූන් මත වැඩිදුර තොරතුරු අනාවරණය කළ නොහැකි බවයි.
පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවික භටයන් 87 දෙනෙකුගේ දේහයන් භාරදීමට ගාල්ල බලධාරීන් කටයුතු කරමින් සිටින අතර, දිවි ගලවා ගත් නාවිකයන් 32 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. ඉරානය මෙරට තේ අපනයනය සඳහා වන ප්‍රධාන වෙළඳපොළක් වන බැවින් සහ මැදපෙරදිග පවතින සංකීර්ණ යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව දැඩි මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේ අතුරුදන් වූ නාවිකයන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.














