ඉක්වදෝරයේ ක්‍රියාත්මක වන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාලයන් සහ ත්‍රස්ත කල්ලි මර්දනය කිරීම සඳහා අමෙරිකානු එක්සත් ජනපදය සහ ඉක්වදෝර හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අමෙරිකානු රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ. අමෙරිකානු දකුණු විධානයේ ප්‍රධානී ජෙනරාල් ෆ්‍රැන්සිස් ඩොනොවන් (Francis Donovan) සඳහන් කළේ, මාර්තු 03 වැනිදා ආරම්භ වූ මෙම මෙහෙයුම මගින් ලතින් අමෙරිකානු කලාපයේ අපරාධ මර්දනය ඉලක්ක කරන බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය තුළ ලතින් අමෙරිකානු මත්ද්‍රව්‍ය කල්ලි “විදේශීය ත්‍රස්ත සංවිධාන” ලෙස නම් කර ඇති අතර, මෙම මෙහෙයුම එහි තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
දැනට අමෙරිකානු හමුදාව ප්‍රධාන වශයෙන් බුද්ධි තොරතුරු සහ සැපයුම් සහාය (Logistics) ලබා දෙමින් ඉක්වදෝර ජනාධිපති ඩැනියෙල් නොබෝවාගේ (Daniel Noboa) “යකඩ හස්තය” ප්‍රතිපත්තිය ශක්තිමත් කරයි. කෙසේ වෙතත්, මෙම හමුදාමය ප්‍රවේශය පිළිබඳව විචාරකයන් සිය කනස්සල්ල පළ කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම යුද්ධයක් ලෙස සලකා මීට පෙර එල්ල කළ ප්‍රහාරවලින් නිරායුධ ධීවරයන් ඇතුළු 150කට අධික පිරිසක් මියගොස් ඇති බව පෙන්වා දෙමිනි. එසේ වුවද, 2020 වසරෙන් පසු අපරාධ රැල්ලකින් බැටකන ඉක්වදෝරයට සාමය උදා කිරීමට මෙම සහයෝගීතාව අත්‍යවශ්‍ය බව ජනාධිපති නොබෝවා අවධාරණය කරයි.














