මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට තේ කර්මාන්තය දැවැන්ත කඩා වැටීමකට මුහුණ දී ඇති බව ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමයේ සභාපති සමන් ගීගනගේ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයනයෙන් 52%ක්ම සිදුකරනු ලබන මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු වෙළෙඳපොළවල් වත්මන් ගැටුම් හමුවේ ඇණහිට ඇති බවයි. විශේෂයෙන්ම ඉරානය සමඟ ක්‍රියාත්මක වූ “තේ වෙනුවට ඉන්ධන” ලබා ගැනීමේ ගිවිසුම තාවකාලිකව නතර වීම මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
මෙරට වාර්ෂික නිමි තේ නිෂ්පාදනය වන කිලෝග්‍රෑම් මිලියන 256න් 65%ක්ම සපයනු ලබන කුඩා තේ වතු හිමියන් මෙම තත්ත්වය හමුවේ දැඩි අසරණභාවයට පත්ව සිටිති. අපනයන මාර්ග ඇහිරීම හේතුවෙන් දේශීය තේ නිෂ්පාදනය අතිරික්ත වීම සහ මිල පහත වැටීම වැළැක්වීම සඳහා රජය වහා මැදිහත් විය යුතු බව සභාපතිවරයා අවධාරණය කරයි. මේ සඳහා විකල්ප ලෙස යුරෝපීය සහ ආසියානු කලාපයේ නව වෙළෙඳපොළවල් කඩිනමින් හඳුනා ගැනීමටත්, අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට හදිසි රාජ්‍ය අනුග්‍රහයක් ලබා දීමටත් පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.














