ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුව අද (05) සිය සංචිත ප්‍රකාශයට පත් කළ අතර, එහිදී ඔවුන්ගේ විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයේ සුවිශේෂී වෙනසක් සිදු කර තිබේ. ඒ අනුව, මෙතෙක් විස්සයි-20 නායකයා ලෙස කටයුතු කළ සුපිරි ක්‍රීඩක රෂීඩ් ඛාන් වෙනුවට ආරම්භක පිතිකරු ඉබ්‍රාහිම් සද්‍රාන් (Ibrahim Zadran) නව නායකයා ලෙස පත් කර ඇත. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනයේ දිගුකාලීන උපායමාර්ගික සැලසුම්වලට අනුව මෙම තීරණය ගෙන ඇති අතර, රෂීඩ් ඛාන් සාමාන්‍ය ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට ඇතුළත් කර තිබේ.
මෙම සංචිතවල තවත් විශේෂත්වයක් වන්නේ මෑතකදී නිමාවූ විස්සයි-20 ලෝක කුසලානයට ක්‍රීඩා කළ ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩක ෆසාල් හක් ෆාරුකි, තුන් ඉරියව් ක්‍රීඩක ගුල්බඩින් නායිබ් සහ කඩුලු රකින පිතිකරු මොහොමඩ් ඉෂාක් යන ක්‍රීඩකයන් සංචිතවලින් ඉවත් කර තිබීමයි. ඒ වෙනුවට නූර් රහ්මාන්, ශරෆුද්දීන් අෂ්රෆ් සහ ෆරීඩ් අහමඩ් විස්සයි-20 සංචිතයට කැඳවා ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක සියා උර් රහ්මාන් ශරීෆිට ප්‍රථම වතාවට එක්දින සංචිතයෙන් කැඳවීමක් ලැබී තිබේ. හෂ්මතුල්ලා ෂාහිඩි එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිගටම කටයුතු කරනු ඇත.
මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ මෙම තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය සියලු පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටියි. තරගාවලිය පවත්වන දින වකවානු හෝ ස්ථානය වෙනස් විය හැකිද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ අවසන් තීරණයක් ගැනීමට නියමිත වුවද, දැනට පවතින තීරණය වන්නේ කලින් නියම කරගත් පරිදි තරගාවලිය පැවැත්වීමයි.














