ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) ආයෝජන ව්‍යාපාරයක් ලෙස පෙනී සිටිමින් වසර දෙකක කාලයක් තිස්සේ මහජනතාව රවටා රුපියල් කෝටි 500කට අධික මුදලක් වංචා කළ බවට චෝදනා කරමින් “පොළොන්නරුවේ වංචාවට අසුවූවන්ගේ සංගමය” අද (05) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාර දුන්නේය. මෙම මූල්‍ය වංචාවට පුද්ගලයන් 5,000කට අධික පිරිසක් හසුවී ඇති අතර, ඔවුන් රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 100 දක්වා විවිධ ප්‍රමාණයේ මුදල් මෙම ආයතනය වෙත ආයෝජනය කර ඇති බව වාර්තා වේ. මෙම ආයතනය විසින් අදාළ ආයෝජනය සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද මුදල් යොදවා ඇති බව පවසමින් තමන්ව පොළඹවා ගත් බවත්, අමාත්‍යවරයාගේ නම භාවිතා කරමින් සිදුකළ ප්‍රචාරයන් නිසා තමන් විශ්වාසය තබා මුදල් යෙදවූ බවත් වංචාවට හසුවූවෝ මාධ්‍ය හමුවේ අවධාරණය කළහ.
මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් දැනට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති නමුත්, තවත් ප්‍රධාන සැකකරුවන් 10 දෙනෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි. අහිංසක ජනතාවගේ මුදල් කොල්ලකෑ මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් වහාම නීතිය හමුවට පමුණුවා තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති. විශේෂයෙන්ම දේශපාලනඥයන්ගේ නම් භාවිතා කරමින් සිදුකරන මෙවැනි මූල්‍ය පිරමිඩ ජාවාරම් පිළිබඳව විමර්ශන වේගවත් කරන ලෙස ද ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දුන් සංදේශය මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.














