රාජ්‍ය නිලධාරීන්ට ඉතා දක්ෂ ලෙස සහ කාර්යක්ෂම ලෙස තම රාජකාරී ඉටුකිරීමට අවශ්‍ය දේශපාලනික මෙන්ම සමාජීය වටපිටාව වත්මන් රජය විසින් මේ වන විට නිර්මාණය කර අවසන් බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. දූෂිත දේශපාලන සංස්කෘතියක් පවතින විට රාජ්‍ය සේවය ද අනිවාර්යයෙන්ම අකර්මණ්‍ය වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා, දේශපාලනය පිරිසිදු කිරීමේ කටයුතු රජය ආරම්භ කර ඇති බැවින් රාජ්‍ය සේවය ද ඊට අවංකව එක්වන්නේ නම් ජනතා අපේක්ෂාවන් වඩාත් සාර්ථකව ඉටුකළ හැකි බව අවධාරණය කළේය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර, එහිදී දිවයිනේ සියලු ඉඩම් සිතියම්ගත කිරීමේ සුවිශේෂී වැඩපිළිවෙලක් පිළිබඳව ද අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ ඉඩම් කැබලි මිලියන 16ක් පවතින බවත්, ඒවා නිසි පරිදි සිතියම්ගත නොකිරීම හේතුවෙන් පසුගිය කාලය පුරා ඉඩම් ආශ්‍රිතව මහා පරිමාණ දූෂණ සහ වංචා රැසක් සිදුව ඇති බවත් මෙහිදී අනාවරණය විය. මෙම නව වැඩපිළිවෙලේ මූලික අදියර මොණරාගල දිස්ත්‍රික්කයෙන් සාර්ථකව ආරම්භ කර ඇති අතර, විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය සේවයක් හරහා ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ මූලික අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














