සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු කඳවුරු වෙත ඉරානය එල්ල කරන ප්‍රහාර තීව්‍ර කර ඇති පසුබිමක, සෞදි අරාබියට ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙස පාකිස්ථානය ඉරානයට නිල වශයෙන් අනතුරු ඇඟවීමක් කර තිබේ. පාකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් දාර් මහතා පෙන්වා දෙන්නේ සෞදි අරාබිය සහ පාකිස්ථානය අතර පවතින අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම හේතුවෙන්, සෞදියට එල්ල වන ඕනෑම ආක්‍රමණයක් පාකිස්ථානයට එල්ල වූ ආක්‍රමණයක් ලෙස සලකා ඊට එරෙහිව යුද වැදීමට තම රටට සිදුවන බවයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ පැවැති සංවාදයකදී ඉෂාක් දාර් මහතා මේ බව අවධාරණය කර ඇත.
2025 සැප්තැම්බර් මාසයේදී අත්සන් කරන ලද මෙම මූලෝපායික ආරක්ෂක ගිවිසුම හුදෙක් යුදමය සහයෝගීතාවයකට පමණක් සීමා නොවූවක් වන අතර, එය බුද්ධි තොරතුරු හුවමාරුව සහ ඒකාබද්ධ යුද අභ්‍යාස ද ඇතුළත් විස්තීරණ එකඟතාවකි. මෙම ගිවිසුම තුළ න්‍යෂ්ටික අවි පිළිබඳව නිල වශයෙන් සඳහන් නොවුණද, සෞදි අරාබියේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වුවහොත් පාකිස්ථානය සතු න්‍යෂ්ටික බලය වුවද යොදා ගත හැකි බවට පාකිස්ථාන බලධාරීන් ඉඟි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය සමඟ මිත්‍රශීලීව සිටීමට උත්සාහ කළද, සෞදිය සමඟ ඇති ආරක්ෂක බැඳීම්වලට ප්‍රමුඛත්වය දීමට පාකිස්ථානය සූදානම් බව මෙයින් පැහැදිලි වේ.
















