රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යන අය පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනයේ තෙවැනි සැකකරු ලෙස නම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (5) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින ඔහු මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් පෙන්වා දුන්නේ තොරතුරු දැන සිටියදී පාස්කු ප්‍රහාර මාලාව වළක්වා නොගැනීම සහ ඊට ආධාර අනුබල දීම සුරේෂ් සලේ යන අයට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා බවයි. මෙම සිද්ධියට අදාළව නැඟෙනහිර පළාතේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකු ඇතුළු තවත් දෙදෙනෙකු ද සැකකරුවන් ලෙස නම් කර ඇති අතර වවුනතිව් පොලිස් නිලධාරීන් ඝාතනය සහ සයින්දමරුදු පිපිරීම් සම්බන්ධයෙන් ද මෙහිදී විමර්ශන සිදු කෙරේ.














