උතුරු සහ නැඟෙනහිර පළාත්වල අධ්‍යාපන යටිතල පහසුකම් නංවාලීම සඳහා රුපියල් ලක්‍ෂ 320ක ආධාරයක් ලබාදීමට ජපාන රජය තීරණය කර තිබේ. බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති (GGP) යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට අදාළ ගිවිසුම් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිඔ ඉසොමත මහතා සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර පසුගියදා අත්සන් තැබිණි.
මෙම ආධාර යටතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන ඉදිකිරීම සහ කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේ ආපනශාලා පහසුකම් වැඩිදියුණු කිරීම සිදු කෙරේ. විශේෂයෙන්ම ආර්ථික අපහසුතා සහිත ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සහ සිසුන් 2,100කට පෝෂ්‍යදායි ආහාර ලබාදීම මෙහි ප්‍රධාන අරමුණු අතර වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරයේදී තහවුරු වූ පරිදි, උතුරු-නැගෙනහිර ප්‍රජාවන්ගේ අභියෝග ජයගැනීමට ජපානය අඛණ්ඩව සහාය දක්වන බව තානාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.














