කළුතර නාගොඩ හන්දියේදී අනතුරුදායක ලෙස ධාවනය වූ ලොරි රථයක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී, පිහි තලයකින් පහර දී තුවාල සිදු කළ බව කියන රියදුරෙකු දකුණු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු ලොරි රථය පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
මෙම ප්‍රහාරයෙන් 26 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වම් අත කැපී තුවාල වී ඇති අතර, තවත් නිලධාරියෙකුගේ මුහුණට පහරදී නිල ඇඳුම පවා ඉරා දමා ඇත. පයාගල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරු බීමත්ව රිය පැදවීම ඇතුළු පෙර වැරදි රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු බවට හඳුනාගෙන තිබේ. රාජකාරියට බාධා කිරීම සහ ආයුධයකින් පහරදී රජයේ නිලධාරීන්ට තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා මත සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.














