ශ්‍රී ලංකාවේ සියලුම ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා ඒවා සිතියම්ගත කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේදී පසුගියදා (04) පැවැති සාකච්ඡාවකදී මෙම වැඩපිළිවෙළේ වර්තමාන ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් විය.
මෙම වැඩපිළිවෙළ හරහා රටේ ඉඩම් පිළිබඳ සම්පූර්ණ දත්ත පද්ධතියක් එකම ස්ථානයකින් ලබා ගැනීමට හැකි වන අතර එමගින් ඉඩම් ආරවුල් විසඳා ගැනීමට සහ රාජකාරී කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට පිටුවහලක් ලැබෙනු ඇත. විදෙස් ආයෝජකයන්ට අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබා දීමට නොහැකි වීමෙන් මීට පෙර මගහැරී ගිය ආයෝජන අවස්ථා මින් ඉදිරියට සාර්ථක කර ගැනීමට මෙම නව තාක්ෂණික යාවත්කාලීන කිරීම මගින් හැකියාව ලැබෙන බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.














