නව ෆෝමියුලා 1 (F1) යුගයේ සමාරම්භය සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියානු ග්‍රෑන්ඩ් ප්‍රී තරඟාවලියේ පළමු පුහුණු වටයේදීම ෆෙරාරි කණ්ඩායම සිය ප්‍රබලත්වය ලොවටම පෙන්වීමට සමත් වුණා. එහිදී චාල්ස් ලෙක්ලර්ක් සහ ලුවිස් හැමිල්ටන් පිළිවෙළින් පළමු සහ දෙවන ස්ථාන දිනාගනිමින් ෆෙරාරි ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නැංවූවා.
ලෙක්ලර්ක් සිය දක්ෂතාවය විදහා පෑවේ තත්පර 0.469ක වාසියක් තබා ගනිමින් හැමිල්ටන්ව දෙවන ස්ථානයට ඇද දමමිනි. මැක්ස් වර්ස්ටැපන් මෙවර තෙවන ස්ථානයට පත් වූ අතර, ඔහුගේ නව කණ්ඩායම් සගයා වන අයිසැක් හැඩ්ජර් සිව්වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. එසේම, වයස අවුරුදු 18ක් වන බ්‍රිතාන්‍ය ජාතික අර්විඩ් ලින්ඩ්බ්ලැඩ් සිය මංගල තරඟ වටයේදීම පස්වන ස්ථානය දිනා ගැනීම කාගේත් අවධානයට ලක් වූ විශේෂත්වයක්.
කෙසේ වෙතත්, ඇස්ටන් මාර්ටින් කණ්ඩායමට මෙවරත් අවාසනාවන්ත දිනයක් උදා වුණා. ඔවුන්ගේ හෝන්ඩා එන්ජිමේ පවතින ගැටලු හේතුවෙන් ප්‍රවීණ ක්‍රීඩක ප්‍රනාන්දු ඇලොන්සෝට කිසිදු වටයක් ධාවනය කිරීමට නොහැකි වූ අතර ලාන්ස් ස්ට්‍රෝල්ට ධාවනය කළ හැකි වූයේ වට තුනක් පමණයි. නව නීති රීති යටතේ එන්ජිමේ පවතින දැඩි කම්පනය නිසා ක්‍රීඩකයන්ගේ ස්නායු පද්ධතියට පවා හානි සිදුවිය හැකි බව කණ්ඩායම් ප්‍රධානී ඒඩ්‍රියන් නිව්වි ප්‍රකාශ කිරීමත් සමඟ ඇස්ටන් මාර්ටින් කණ්ඩායමේ අනාගතය පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.














