ප්‍රබල ඊශ්‍රායලය සහ ඇමරිකාව සමඟ ඇති වී තිබෙන ගැටුම්කාරී වාතාවරණය හමුවේ ඉරානය අනුගමනය කරන්නේ සාම්ප්‍රදායික යුද ජයග්‍රහණයකට එහා ගිය සුවිශේෂී උපායමාර්ගයකි. ඉරාන නායකත්වයේ මූලිකම ඉලක්කය වී ඇත්තේ තමන්ගේම කොන්දේසි මත පදනම්ව මේ යුද්ධයෙන් බේරී සිටීම හෙවත් ‘පැවැත්ම’ (Survival) තහවුරු කර ගැනීමයි.
පසුගිය වසරේ පැවති දින 12ක යුද්ධයේදී අත්විඳි අත්දැකීම් අනුව, ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව එල්ල කරන ප්‍රහාරයන්ට ඉරානය සූදානම්ව සිටින බව පෙනේ. ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ පවතින උසස් තාක්ෂණය සහ මිලිටරි බලය හමුවේ සෘජු යුධමය ජයග්‍රහණයක් ලැබීම අසීරු බව දන්නා ඉරානය, ඒ වෙනුවට තමන්ගේ බැලස්ටික් මිසයිල පද්ධති, දිගු දුර ඩ්‍රෝන යානා සහ කලාපය පුරා විහිදුණු සන්නද්ධ කණ්ඩායම් ජාලය ශක්තිමත් කර තිබේ.
ඉරානයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ තමන්ට එල්ල වන පීඩනය හමුවේ නොසැලී සිටීමයි. ඇමරිකානු ප්‍රධාන භූමියට පහර දීම අපහසු වුවද, කලාපයේ පවතින ඇමරිකානු කඳවුරු සහ ඊශ්‍රායලය වෙත ඉරාන මිසයිල ළඟා වීමේ හැකියාව පවතින බව පසුගිය ප්‍රහාරයන් හරහා ඔවුන් තහවුරු කර තිබේ. මෙය හමුදාමය ප්‍රහාරයකට වඩා සතුරාගේ මනෝභාවය බිඳ දැමීමේ උපායමාර්ගික සටනක් ලෙස විචාරකයින් හඳුන්වයි.














