නොරොච්චෝලය ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් බලාගාරයේ නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් බලාගාරයේ එක් පද්ධතියක් ඉතා අඩු ධාරිතාවයකින් ක්‍රියාත්මක වන බවයි.
මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් බලාගාරයේ චිමිනියෙන් අධික ලෙස දුමාරය නිකුත් වෙමින් පවතින බවත්, එය පරිසරයට ද දැඩි බලපෑමක් එල්ල කරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ද මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ බලාගාරයේ එක් කොටසක වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුව ඇති අතර චිමිනියෙන් කළු දුමාරයක් පිටවීම ප්‍රදේශවාසීන්ගේ ද අවධානයට ලක්ව ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානම විදුලි උත්පාදන මධ්‍යස්ථානයක් වන නොරොච්චෝලේ බලාගාරයේ නිරන්තරයෙන් ඇතිවන මෙවැනි දෝෂ හේතුවෙන් ඉදිරියේදී ජාතික විදුලි පද්ධතියට එල්ල විය හැකි බලපෑම පිළිබඳව බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිය කනස්සල්ල පළ කරනවා. රජය විසින් ලංවිම ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගනිමින් සිටින පසුබිමක, මෙවැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වල පවතින දුර්වලතා කඩිනමින් විසඳීම අභියෝගයක් වී තිබෙනවා.
















