දිට්වා සුළි කුණාටුව මෙරටට එල්ල කළ බලපෑමෙන් පසු ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳ යෝජනාව අද දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. පසුගියදා රජය විසින් නිකුත් කරන ලද හදිසි තත්ත්වය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනයට අදාළව මෙම විවාදය අද දවස පුරා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය සහ ඉන් පසුව මතුව ඇති ආරක්ෂක මෙන්ම සහන සේවා කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගත්තා. මෙහි පවතින අවශ්‍යතාවය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද සිය අදහස් ඉදිරිපත් කිරීමට නියමිතයි.
කලාපීය වශයෙන් පවතින අස්ථාවර වාතාවරණය සහ දේශීය වශයෙන් ඇති වී තිබෙන ස්වභාවික ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බව රජයේ පාර්ශ්වයන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, හදිසි නීති ප්‍රතිපාදන ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් විවිධ දේශපාලන මතිමතාන්තර ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.














