ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ මව්ගෙදර ලෙස සැලකෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව (DEEE) මගින් සංවිධානය කරනු ලබන ‘Luminex 26’ වාර්ෂික ප්‍රදර්ශනය අද, එනම් මාර්තු 06 වන සිකුරාදා දින කොළඹදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. විද්‍යුත් හා විදුලි ඉංජිනේරු සංගමය (EEES) මෙහෙයවන මෙම වැඩසටහන, මෙරට අනාගත ඉංජිනේරු පරපුරේ නව නිපැයුම් සහ පර්යේෂණ කුසලතාවන් ජාත්‍යන්තර තලයට ගෙන යන සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුනාගත හැකිය.
මෙවර Luminex 26 ප්‍රධාන අංග තුනක් ඔස්සේ ක්‍රියාත්මක වන අතර, එහි පළමු අදියර ලෙස DEEE Career Fair 2026 වෘත්තීය ප්‍රදර්ශනය පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. රොබෝ තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ පුනර්ජනනීය බලශක්තිය වැනි නවීන ක්ෂේත්‍රයන්හි දක්ෂතා දක්වන උපාධිධාරීන්ට ප්‍රමුඛ පෙළේ දේශීය හා විදේශීය සමාගම් සමඟ සෘජුව සම්බන්ධ වී රැකියා අවස්ථා උදාකර ගැනීමට මෙහිදී අවස්ථාව සැලසේ.
එදිනම පැවැත්වෙන EEERAPS 2026 පර්යේෂණ සම්මන්ත්‍රණයේදී “පර්යේෂණ හා සංවර්ධනය: ජාතික සංවර්ධනයේ මාවත” යන තේමාව යටතේ අවසන් වසර සිසුන්ගේ නව නිපැයුම් ඉදිරිපත් කෙරේ. ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්‍ර හරහා දේශීය ගැටලුවලට තාක්ෂණික විසඳුම් සෙවීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම උත්සව මාලාව නිමාවට පත්වන්නේ රාත්‍රී 6.00 ට බත්තරමුල්ල වෝටර්ස් එජ් (Waters Edge) පරිශ්‍රයේ පැවැත්වෙන EEES Night 2026 සුහද හමුවෙනි. ලොව පුරා විසිරී සිටින කීර්තිමත් ආදි විද්‍යාර්ථීන් සහ ආචාර්යවරුන් එක්වන මෙම රාත්‍රිය, අනාගත ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා අත්දැකීම් බෙදාහදා ගන්නා අගනා අවස්ථාවක් වනු ඇත.
මැදපෙරදිග යුද වාතාවරණය සහ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, මෙරට තරුණ පරපුරේ තාක්ෂණික ඥානය මෙලෙස ප්‍රදර්ශනය කිරීම රටේ අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක් දල්වන්නකි. පේරාදෙණිය ඉංජිනේරු පීඨය සතු IEEE Fellow වැනි ගෞරව නාමලත් විද්වතුන්ගේ මගපෙන්වීම යටතේ බිහිවන මෙම නව ඉංජිනේරු පරපුර, ශ්‍රී ලංකාව තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් ලෙස ලෝක සිතියමේ සලකුණු කිරීමට සමත් වනු නොඅනුමානය.














