2025 වසරේ අමෙරිකානු ප්‍රධාන පෙළේ පාපන්දු ලීගයේ (MLS) ශූරතාව දිනාගත් ඉන්ටර් මියාමි (Inter Miami) කණ්ඩායම ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලයනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පිළිබඳව කළ ප්‍රකාශයක් ක්‍රීඩා ලොව දැඩි අවධානයට ලක්ව තිබෙනවා. මෙසී ඉදිරියේම රොනාල්ඩෝගේ නම සඳහන් කරමින් ට්‍රම්ප් කළ මෙම ප්‍රකාශය හමුවේ මෙසී සිනාසෙමින් එය සැහැල්ලුවෙන් භාරගත් බවයි වාර්තා වන්නේ.
මෙහිදී මෙසීව උණුසුම් ලෙස පිළිගත් ජනාධිපතිවරයා, තම පුත් බැරන් ට්‍රම්ප් (Barron Trump) මෙසීගේ මෙන්ම රොනාල්ඩෝගේ ද දැඩි රසිකයෙකු බව සඳහන් කළා. “මගේ පුතා ඔබේ ලොකු රසිකයෙක්, ඒ වගේම රොනාල්ඩෝ කියන මහත්මයාගෙත් රසිකයෙක්. ක්‍රිස්ටියානෝ කියන්නේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්” යනුවෙන් ට්‍රම්ප් පැවසූ අතර, මෙසී ලොව ඕනෑම කණ්ඩායමකට යාමට අවස්ථාව තිබියදී අමෙරිකාව තෝරා ගැනීම පිළිබඳව ද ස්තූතිය පළ කළා.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ට්‍රම්ප්, පාපන්දු පුරාවෘත්තයක් වන පේලේ (Pelé) ට වඩා මෙසී දක්ෂ දැයි තමන්ට සැකයක් පවතින බවත් පවසා සිටියා. මෙසී මෑතකදී සිය 47 වැනි කුසලානය ජයග්‍රහණය කරමින් ඉතිහාසගත වූ අතර, වසර දෙකක් පිට පිටම වටිනාම ක්‍රීඩකයා ලෙස (MVP) සම්මාන ලැබූ පළමු අමෙරිකානු ලීග් ක්‍රීඩකයා බවට ද පත්වුණා. මෙම උත්සවයේදී ට්‍රම්ප් සහ මෙසී අතර පැවැති සුහද කතාබහ පාපන්දු ලෝලීන් අතර සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රසිද්ධ වෙමින් පවතිනවා.














