ඉරානය සහ ඇමෙරිකානු-ඊශ්‍රායල හමුදා අතර පවතින “Operation Epic Fury” දරුණු යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ වෙසෙන දරුවන් විශාල වශයෙන් මරණයට පත්වීමේ දැඩි අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) අද (06) අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. යුද්ධය ආරම්භ වී ගෙවී ගිය කෙටි කාලය තුළ අවම වශයෙන් ළමුන් 180ක් පමණ මියගොස් ඇති බවට වාර්තා වන අතර, ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ පසුගිය පෙබරවාරි 28 වැනිදා දකුණු ඉරානයේ මිනාබ් (Minab) නගරයේ පිහිටි ‘ෂජරේ තයිබා’ (Shajareh Tayyebeh) බාලිකා ප්‍රාථමික පාසලට එල්ල වූ දරුණු ප්‍රහාරයෙනි.
පන්ති පැවැත්වෙමින් තිබියදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් වයස අවුරුදු 7ත් 12ත් අතර පසුවන දැරියන් 168 දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව යුනිසෙෆ් ආයතනය තහවුරු කරයි. මීට අමතරව ඉරානයේ විවිධ ප්‍රදේශවල පිහිටි පාසල් 5කට එල්ල වූ ප්‍රහාරවලින් තවත් දරුවන් 12 දෙනෙකු මියගොස් ඇති අතර, මේ වන විට රෝහල් 10ක් සහ පාසල් 20ක් පමණ යුද ප්‍රහාර නිසා විනාශ වී ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ පාසල් සහ රෝහල් ආරක්ෂිත කලාප ලෙස සැලකිය යුතු වුවද, පවතින යුදමය වාතාවරණය හමුවේ එම නීති බරපතල ලෙස උල්ලංඝනය වෙමින් පවතී.
මෙම මාරාන්තික ප්‍රහාරයේ වගකීම සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේ, ඇමෙරිකානු හමුදා විමර්ශකයින්ට අනුව මෙය ඇමෙරිකානු ප්‍රහාරක යානා මගින් එල්ල වූවක් වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ද චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ තහවුරු කර ඇත්තේ ඉරාන නාවික කඳවුරක් ඉලක්ක කර ඇමෙරිකාව මෙහෙයවූ ප්‍රහාර මාලාවක් අතරතුර මෙම පාසල ද ප්‍රහාරයට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත්, ඇමෙරිකානු ආරක්ෂක අංශ මේ පිළිබඳව විමර්ශනයක් පවත්වන බව පවසන අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් සෘජුව පිළිගෙන නොමැත.
සිරියාවේ කමිෂ්ලි නගරයේ දරුවන් මිසයිල කොටස් සමඟ සෙල්ලම් කරන සංවේදී දර්ශන මෙන්ම, ඉරානයේ දරුවන් මෙලෙස සමූහ වශයෙන් මියයාම ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි කෝපයට හේතු වී තිබේ. යුද්ධය හේතුවෙන් පවුල් සහ ප්‍රජාවන් පරම්පරා ගණනාවක් පුරා මානසිකව ඇද වැටෙන බවත්, වහාම ක්‍රියාත්මක වන පරිදි සිවිල් වැසියන් සහ දරුවන් ආරක්ෂා කිරීමට සියලු පාර්ශවයන් පියවර ගත යුතු බවත් යුනිසෙෆ් ආයතනය වැඩිදුරටත් අවධාරණය කරයි.














