ශ්‍රී ලංකාව සැමවිටම ජාත්‍යන්තර සාගර නීතිය සහ මානුෂීය වගකීම්වලට ගරු කරමින් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ඊයේ (05) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මුහුදු තීරයට එපිටින් සිදුවූ දරුණු නාවික අනතුරකින් පසු උද්ගත වූ තත්ත්වය පැහැදිලි කරමිනි. ඇමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරයක් හේතුවෙන් නෞකාවක් ගිලී ගොස් එහි සිටි නාවිකයන් 32 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, ඉන් අනතුරුව තවත් නෞකාවක් සිය ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවේ සහය ඉල්ලා තිබේ.
මෙම අර්බුදකාරී වාතාවරණය හමුවේ රජය ක්‍රියා කරන ආකාරය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම ප්‍රශ්න කළ අතර, රජය වෙනුවෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට පිළිතුරු ලබා දුන්නේය. ජනාධිපතිවරයාගේ පූර්ණ මැදිහත්වීම මත සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් සාගර නීතියට අනුකූලව මෙම ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව රජය පවසයි.
එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) සහ මුහුදේ ජීවිත ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය (SOLAS) යටතේ ශ්‍රී ලංකාව සිය වගකීම් මැනවින් ඉටු කරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සහතික කළේය. පවතින ගෝලීය උණුසුම් තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතී නොවී මානුෂීය මෙහෙයුම් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව රජයේ ස්ථාවරය වී තිබේ.














