රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා බැලීමට යන ඕනෑම අයෙකුට පොලිස් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ පැවැති විවාදයේදී ඔහු මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන් ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය. සුරේෂ් සලේ මහතාගේ 21 හැවිරිදි පුත්‍රයාට පවා තම පියා බැලීමට යාම සඳහා පොලිස් වාර්තාවක් ලබා ගැනීමට සිදුව ඇති බවත් මෙය අසාධාරණ නීතියක් බවත් ඔහු පැවසීය. එමෙන්ම සැකකරුවෙකු නොවන පුද්ගලයෙකු රඳවා තබා ගැනීම හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උල්ලංඝනය වන බවත් නීතිඥයන්ට පවා ඔහු සමඟ සාකච්ඡා කිරීමට සිදුව ඇත්තේ ආරක්ෂක නිලධාරීන් ඉදිරියේම බවත් ඔහු අවධාරණය කළේය.
නීතිය සැමට සමාන විය යුතු වුවද වර්තමානයේ විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වන බවට මන්ත්‍රීවරයා මෙහිදී රජයට චෝදනා කළේය. පැය 48ක් ඇතුළත අදාළ නියෝග අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද එය මෙතෙක් සිදු කර නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














