දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරටට සිදු වූ සමස්ත හානිය පිළිබඳ සවිස්තරාත්මක තක්සේරු වාර්තාව මෙම මාර්තු මාසය අවසන් වීමට පෙර ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති බව ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකායේදී අනාවරණය විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී ප්‍රතිසාධන කටයුතුවල වත්මන් ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
මෙහිදී ගනු ලැබූ ප්‍රධාන තීරණ සහ සාකච්ඡා වූ කරුණු කිහිපයක් මෙසේය. ආපදාවෙන් නිවාස අහිමි වී දැනට අවතැන් කඳවුරුවල රැඳී සිටින ජනතාවට ස්ථිර නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය. ඔවුන් දිගුකාලීනව කඳවුරුවල රැඳී සිටීමෙන් ඇති විය හැකි සමාජයීය ගැටලු අවම කිරීම මෙහි මූලික අරමුණයි. එමෙන්ම ‘Rebuilding Sri Lanka’ අරමුදලට ලැබෙන විදේශීය ආධාර විනිවිදභාවයකින් යුතුව ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
දිස්ත්‍රික් ලේකම්වරුන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තම ප්‍රදේශවල පවතින ගැටලු ඉදිරිපත් කළ අතර, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල නියෝජිතයින් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියහ.














