පෞද්ගලික බැංකුවක රුපියල් මිලියන 290ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන් ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය. මෙම සිද්ධිය සාමාන්‍ය සොරකමක් නොවන බවත්, බයිනෑන්ස් වැනි ක්‍රිප්ටෝ ගිණුම් හරහා සිදුවන මෙවැනි මහා පරිමාණ මූල්‍ය වංචා වළක්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු පැවසීය. මාස තුනක් තිස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, විමර්ශන අවසන් කර සියලු තොරතුරු අනාවරණය කරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සිද්ධියට අදාළව දැනට සැකකරුවන් 19 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිට පසුව ඇප මත මුදා හැර තිබේ. ජනතාවගේ මුදල් වංචා කිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව මෙහිදී අධිකරණයේ විශේෂ අවධානයට ලක් විය.














