අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය ලොව පුරා ප්‍රධාන පුවත් මවද්දී, සමාජ මාධ්‍ය පරිශීලකයින් උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ව යොදාගනිමින් නිර්මාණය කළ හාස්‍යජනක මීම්ස් (Memes) මේ වන විට අන්තර්ජාලය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
X (පෙර Twitter) සහ Instagram වැනි වේදිකාවල සැරිසරන මෙම නිර්මාණ මගින් කිම් ජොන් අන්ව නිරූපණය කර ඇත්තේ මැදපෙරදිග සිදුවන දේ දෙස දුරදක්නයකින් (Binoculars) මහත් කුතුහලයෙන් බලා සිටින අයෙකු ලෙසයි. ඇතැම් මීම්ස්වල ඔහු රූපවාහිනිය දෙස බලා තමන්ට ද යුද්ධයට එක්වීමට අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටින ආකාරය හාස්‍යජනක ලෙස නිරූපණය කර තිබේ.
විශේෂයෙන්ම “එක් මිසයිලයක් හෝ වැරදීමකින් උතුරු කොරියාවට වැටෙන තෙක් බලා සිටින කිම් ජොන් අන්” යනුවෙන් සඳහන් කරමින් පළ වූ මීම්ස්වල ඔහු සිනහවෙන් පිරුණු මුහුණකින් සිටින අයුරු දැක්වේ. භූ දේශපාලනික වශයෙන් ඉතා බැරෑරුම් තත්ත්වයක් පවතින මොහොතක, සමාජ මාධ්‍ය හරහා මෙවැනි සැහැල්ලු නිර්මාණ බිහිවීම කාගේත් අවධානයට ලක්ව ඇත.














