වෙනත් පුද්ගලයන්ගේ බැංකු කාඩ්පත් දත්ත තාක්ෂණික ක්‍රම මගින් සොරාගෙන අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත සිටි තරුණයෙකු ලබන 20 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පහත කරුණු අනාවරණය කරන ලදී. සැකකරුට විදේශ ගමන් තහනමක් පනවා තිබියදී හොර රහසේ විදේශගත වී යළි පැමිණ ඇති බවත්, තහනම් කරන ලද සිම්පත් (SIM cards) යළි ලබා ගැනීමට උත්සාහ කර ඇති බවත් එහිදී හෙළි විය. එමෙන්ම, නඩු භාණ්ඩයක් ලෙස පවතින ජංගම දුරකථනයේ රහස් මුරපදය අමතක බව පවසමින් ඔහු විමර්ශනවලට සහාය නොදක්වන බව ද CID නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.
වැදගත්ම කරුණ වන්නේ මෙම මහා පරිමාණ වංචාව සිදු කරන අවස්ථාවේදී සැකකරු පාසල් වියේ පසුවූ අයෙකු බව අනාවරණය වීමයි. සැකකරු විසින් භාවිතා කළ දෙවැනි ජංගම දුරකථනය සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, පනවා තිබූ ඇප කොන්දේසි දැඩි ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුගේ ඇප අවලංගු කර මෙලෙස යළි රිමාන්ඩ් කරන ලදී.














