අන්තරායකර මත්ද්‍රව්‍ය මර්දනය කර දරුවන් සහ තරුණ පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළේ තවත් තීරණාත්මක පියවරක් ලෙස “ප්‍රාදේශීය මෙහෙයුම් සභා” ස්ථාපිත කිරීම අද (06) ආරම්භ විය. මෙහි සමාරම්භක සාකච්ඡාව කොලොන්නාව “මංගලපාය” ශාලාවේදී පැවැත්වුණු අතර, එහිදී කොලොන්නාව ආසනය කේන්ද්‍ර කරගනිමින් මෙම නව මර්දන යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීමට තීරණය විය.
මෙම නව වැඩපිළිවෙළේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රධාන තොරතුරු මෙසේය. කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 46ක් සහ පොලිස් බලප්‍රදේශ 4ක් (වැල්ලම්පිටිය, මුල්ලේරියාව, ගොතටුව සහ ග්‍රෑන්ඩ්පාස්) ආවරණය වන පරිදි මෙම සභා පිහිටුවනු ලැබේ. ප්‍රාදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම කමිටු සඳහා පොලිසිය, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් සහ මහජන ආරක්ෂක කමිටු නියෝජිතයන් ඒකාබද්ධව කටයුතු කරනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අවධාරණය කළේ මත්ද්‍රව්‍ය මර්දනය නීතියෙන් පමණක් කළ නොහැකි බවත්, ඒ සඳහා පුළුල් සමාජ දැනුවත්භාවයක් අවශ්‍ය බවත්ය. ඇතැම් රාජ්‍ය නිලධාරීන් කාර්යාලවලට පමණක් සීමා වී බිම් මට්ටමේ වැඩකටයුතු මඟහැරීම ගැටලුවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පාසල් පද්ධතිය ආරක්ෂා කර ගැනීමට දෙමව්පියන් සහ ආදි ශිෂ්‍ය සංගම්වල සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බව ද සඳහන් කළේය.














