මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ සාම සාකච්ඡා සහ මැදිහත්වීම් පිළිබඳව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ සාම සාකච්ඡා සඳහා යොමු විය යුත්තේ ඉරානය නොව, මෙම ගැටුම ආරම්භ කළ අමෙරිකාව සහ ඊශ්‍රායලය බවයි.
ඉරානය සැමවිටම කලාපීය සාමය අගය කරන නමුත්, රටේ ගෞරවයට හෝ ස්වාධීනත්වයට හානි කිරීමට පැමිණෙන ඕනෑම පාර්ශවයකට එරෙහිව නැගී සිටීමට පසුබට නොවන බව ඔහු පවසා ඇත. ඉරාන ජනතාවගේ ශක්තිය අවතක්සේරු කරමින් යුද්ධය ඇවිලවූ පාර්ශවයන් පාලනය කිරීමට ජාත්‍යන්තර මැදිහත්කරුවන් පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“අපි සාමයට කැමතියි, හැබැයි අපේ රටට අත තියන්න ආවොත් අපි බලාගෙන ඉන්නේ නැහැ. මේ යුද්ධය පටන් ගත්තේ අමෙරිකාවයි ඊශ්‍රායලයයි. ඒ නිසා සාම සාකච්ඡා කරන්න ඕනෙ අපෙත් එක්ක නෙවෙයි, ඒ රටවල් දෙකත් එක්කයි” යනුවෙන් ජනාධිපති පෙසෙෂ්කියන් මෙහිදී සිය ස්ථාවරය පැහැදිලි කළේය. මෙම ප්‍රකාශයත් සමඟ කලාපයේ පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් සංකීර්ණ වී ඇති බව විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.















