ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් ඉදිකරන ලද බව පැවසෙන ටෙහෙරාන් නුවර පිහිටි දැවැන්ත භූගත බංකර් සංකීර්ණයක් විනාශ කළ බව ඊශ්‍රායල හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රහාරය සඳහා ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා 50ක් පමණ සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටෙහෙරාන් නුවර මධ්‍යයේ වීදි කිහිපයක් යටින් විහිදී ගිය මෙම බංකරය අති නවීන පහසුකම්වලින් සමන්විත වූවකි. එහි ඉහළ පෙළේ සාකච්ඡා සඳහා වෙන්වූ විශේෂ කාමර ද ඇතුළත් විය. හිටපු උත්තරීතර නායකයාගේ අභාවයෙන් පසුව වුවද, ඉරාන රජයේ සහ ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරීන් සිය රහසිගත මෙහෙයුම් සහ හමුවීම් සඳහා මෙම ස්ථානය අඛණ්ඩව භාවිත කරමින් සිටි බව ඊශ්‍රායලය පෙන්වා දෙයි.
මෙම ප්‍රහාරයත් සමඟ දෙරට අතර පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර වී ඇති අතර, ඉරානය මෙයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවේ.














