රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසක කාලයක් සඳහා දීර්ඝ කිරීමට අදාළ යෝජනාව අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 100කින් සම්මත විය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා විසින් මෙම ඡන්ද විමසීමේ ප්‍රතිඵලය සභාවට නිල වශයෙන් දැනුම් දෙන ලදී.
මෙම ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර, ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 08ක් පමණි. මහජන ආරක්ෂක ආඥා පනතේ අදාළ විධිවිධාන යටතේ මෙම යෝජනා සම්මතය ස්ථිර කර ගත් අතර, හදිසි නීති රෙගුලාසිවලට අමතරව අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය ද අද දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අද දින විවාදයේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ මෙම හදිසි තත්ත්වය මර්දනය සඳහා නොව, රටේ පවතින ආපදා තත්ත්වයෙන් පසු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බවයි.
















