ඉරාන නෞකා දෙකක විපතට පත් වූ පිරිසට මානුෂීය සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් තීරණය අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ අගය කරති. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය තත්ත්වය හමුවේ මෙවැනි තීරණයක් ගැනීම අසීරු වුවත්, එය ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟව ගත් කාලෝචිත පියවරක් බව උන්වහන්සේ සඳහන් කළහ.
ඇමෙරිකානු ප්‍රහාරයකින් විනාශ වූ ඉරාන යුද නෞකාවේ සිටි පිරිසට සහ මෑතකදී සහන ඉල්ලා මෙරට මුහුදු සීමාවට පැමිණි අනෙක් ඉරාන නෞකාවට මානුෂීයව සැලකීම ශ්‍රී ලංකාවේ වගකීමකි. එම නෞකාව ත්‍රිකුණාමලය වරායට රැගෙන ඒමටත්, නැවියන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත් ජනාධිපතිවරයා මැදිහත් වීම බුද්ධිමත් ක්‍රියාවක් බව උන්වහන්සේ පැවසූහ.
ලෝක බලවතුන් අතර යුද්ධයක් පවතින අවස්ථාවක, කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවන පරිදි මධ්‍යස්ථව කටයුතු කිරීම රටේ අනාගතයට අතිශය වැදගත් බවත්, එක් රටකට පක්ෂපාතී වීමෙන් අනිසි ප්‍රතිඵල අත්විය හැකි බවත් උන්වහන්සේ අවධාරණය කළහ. බෞද්ධ රටක් ලෙස සාමය අගය කරමින්, “වෛරයෙන් වෛරය නොසංසිඳේ” යන බුදු වදන අනුව යමින් ලෝක සාමය වෙනුවෙන් ලෝක බලවතුන් අවධානය යොමු කළ යුතු බව නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ වැඩිදුරටත් අනුශාසනා කළහ.
















