ඉරානය සහ බටහිර මිත්‍ර හමුදා අතර පවතින දරුණු යුදමය තත්ත්වය හේතුවෙන් ගල්ෆ් කලාපයේ රටවල් දැවැන්ත ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බවත්, ඉදිරි දින කිහිපය තුළ නැවුම් ආහාර ද්‍රව්‍යවල (Fresh Food) දැඩි හිඟයක් ඇති විය හැකි බවත් ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් ලෝක ගුවන් භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවයෙන් 18%ක් (Air Cargo Capacity) දැනටමත් අකර්මන්‍ය වී ඇති අතර, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් සිය ආහාර අවශ්‍යතාවයෙන් 85%කට වඩා ආනයනය කරන බැවින් මෙම සැපයුම් දාම බිඳ වැටීම ඔවුන්ට සෘජුවම බලපා තිබේ. විශේෂයෙන්ම ගුවන් මගින් ප්‍රවාහනය කරන පලතුරු, එළවළු සහ මස් වැනි ඉක්මනින් නරක් වන ද්‍රව්‍ය වෙළඳපොළෙන් අතුරුදහන් වීමේ අවදානමක් පවතින බව ආරක්ෂක සහ ආර්ථික විශ්ලේෂකයෝ අනාවරණය කරති.
ඩුබායිහි ජෙබෙල් අලි (Jebel Ali) වරාය සහ දෝහා වැනි ප්‍රධාන මධ්‍යස්ථානවල මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල වීමත් සමඟ කන්ටේනර් නෞකා 170කට අධික සංඛ්‍යාවක් පර්සියානු ගල්ෆ් කලාපය තුළ සිරවී ඇති බව වාර්තා වේ. එමෙන්ම එමිරේට්ස්, කටාර් එයාර්වේස් සහ එතිහාඩ් වැනි ගුවන් සේවා සිය භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සීමා කිරීම හේතුවෙන් ආහාර මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් සිය මාස 4-6ක උපායමාර්ගික ආහාර සංචිත (Strategic Food Stocks) සුරක්ෂිත බව ප්‍රකාශ කරමින් ජනතාවට කලබල නොවන ලෙස දන්වා ඇත. කෙසේ වෙතත්, නැවුම් ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින මෙම අවදානම මැඩපැවැත්වීම සඳහා හදිසි “ගුවන් පාලම්” (Air Bridges) සැකසීමට කලාපීය රටවල් උත්සාහ කරමින් සිටියි.
















