මැදපෙරදිග යුද්ධයේ බලපෑම ඉරානයේ උතුරු දේශසීමාව දක්වා ව්‍යාප්ත වෙමින්, අසර්බයිජානයට අයත් නඛ්චිවන් ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමත් සමඟ දෙරට අතර දැඩි රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඉරානය විසින් එල්ල කරන ලදැයි සැක කෙරෙන ඩ්‍රෝන ප්‍රහාර හතරක් හේතුවෙන් ගුවන් තොටුපළකට හානි සිදුව ඇති අතර සිවිල් වැසියන් පිරිසක් ද තුවාල ලබා ඇත.
අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් (Ilham Aliyev) මෙම ප්‍රහාරය “භීෂණවාදී ක්‍රියාවක්” ලෙස හෙළා දකිමින්, ඉරානයේ සිටින සියලුම තානාපති නිලධාරීන් වහාම ඉවත් කර ගැනීමට නියෝග කර තිබේ. එමෙන්ම සිය හමුදාව උපරිම සූදානමකින් (Maximum Combat Readiness) තබා ඇති බව ද වාර්තා වේ. ප්‍රහාරය සම්බන්ධයෙන් ටෙහෙරාන් පාලනය සමාව ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ඉරානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, මෙය ඊශ්‍රායලය විසින් සිදු කරන ලද කුමන්ත්‍රණකාරී ප්‍රහාරයක් (False-flag operation) විය හැකි බවට සැක පළ කරයි. කෙසේ වෙතත්, ඉරානය තුළ ජීවත් වන අසර්බයිජාන ජනවාර්ගිකයන් පිළිබඳව ජනාධිපති අලියෙව් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය හේතුවෙන් දෙරට අතර පවතින සාම්ප්‍රදායික නොසන්සුන්තාව තවත් උග්‍ර වී ඇත. රුසියාව, ඉරානය සහ තුර්කිය වැනි ප්‍රබල රටවල් මැද පිහිටි අසර්බයිජානය මෙලෙස මැදපෙරදිග අර්බුදයට ඇදී යාම කලාපීය ස්ථාවරත්වයට දැඩි තර්ජනයකි.














