ඉරාන යුද්ධයේ හත්වන දිනය වන අද වන විට ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති බලපෑම තීරණාත්මක මට්ටමකට පැමිණ ඇති අතර ලොව විශාලතම ද්‍රව ස්වාභාවික වායු (LNG) නිෂ්පාදන මධ්‍යස්ථානය වන කටාර්හි රාස් ලාෆන් (Ras Laffan) පහසුකම සිය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව වාර්තා වේ. ලෝක LNG සැපයුමෙන් 20%ක් සපයන මෙම මධ්‍යස්ථානය “Cold Standby” තත්ත්වයට පත් කිරීමත් සමඟ යුරෝපය සහ ආසියාව පුරා බලශක්ති මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර මෙවැනි මධ්‍යස්ථානයක් නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් මාසයක කාලයක් ගතවන බව ආර්ථික විශ්ලේෂක පීටර් සෙයිහාන් (Peter Zeihan) පෙන්වා දෙයි.
යුධමය තත්ත්වය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකා (Tankers) ගමන් කිරීම නතර වීම නිසා ඉරාකයේ දෛනික තෙල් නිෂ්පාදනයෙන් බැරල් මිලියන 2ක් පමණ අත්හිටුවීමට එරටට සිදුව තිබේ. දිනකට තෙල් බැරල් මිලියන 4ක් නිෂ්පාදනය කරන ඉරාකයට සිය නිෂ්පාදන ගබඩා කර තැබීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම නිසා මෙම තීරණය ගෙන ඇති අතර එමඟින් ගෝලීය තෙල් සැපයුමට දැඩි හිඟයක් ඇති වී තිබේ. ඉරානය සතු මිසයිල දියත් කිරීමේ පද්ධතිවලින් 60% – 80%ක් පමණ ඇමරිකානු ප්‍රහාර හමුවේ විනාශ වී තිබුණද ඔවුන් සතු අඩු පිරිවැය “ෂහෙඩ්” (Shahed) ඩ්‍රෝන යානා අඛණ්ඩව නිෂ්පාදනය කිරීම සහ දියත් කිරීම හේතුවෙන් නාවික මාර්ගවල ආරක්ෂාව තවදුරටත් අවදානමකට ලක්ව ඇත.
ඇමරිකාව වසරක් තුළ නිෂ්පාදනය කරන පේට්‍රියට් (Patriot) මිසයිල ප්‍රමාණයට සමාන ඩ්‍රෝන ප්‍රමාණයක ඉරානය විසින් සතියක් තුළ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බැවින් එම අභියෝගයට මුහුණ දීම සඳහා වසර කිහිපයක් තිස්සේ ෂහෙඩ් ඩ්‍රෝනවලට සාර්ථකව මුහුණ දුන් යුක්රේන යුධ විශේෂඥයන්ගේ සහය ලබා ගැනීමට ඇමරිකාව සහ ගල්ෆ් රටවල් සාකච්ඡා කරමින් සිටියි. ඉරානයේ මිසයිල බලය අඩු වුවද මෙම ඩ්‍රෝන යානා මඟින් එල්ල කරන අසමමිතික ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳ සහ බලශක්ති ජාලයන්ට එල්ල වන බලපෑම අවම කිරීම සඳහා බටහිර මිත්‍ර හමුදා “ලූකස්” (LUCAS) වැනි නවීන තාක්ෂණික විසඳුම් වෙත යොමු වෙමින් සිටින බව ආරක්ෂක විශ්ලේෂකයෝ වාර්තා කරති.














