මැදපෙරදිග කලාපයේ ඇවිලී යන “Operation Epic Fury” යුද්ධය හුදෙක් දේශපාලනික හෝ ආරක්ෂක ගැටලුවක් නොව, එය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවන පැමිණීම සනිටුහන් කරන “අර්මගෙදොන්” (Armageddon) යුද්ධයේ ආරම්භය බවට ඇමෙරිකානු හමුදාපතිවරුන් පිරිසක් සිය සෙබළුන්ට පවසා ඇති බවට අතිශය ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වේ. ස්වාධීන මාධ්‍යවේදී ජොනතන් ලාර්සන් (Jonathan Larsen) විසින් අනාවරණය කර ඇති පරිදි, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට පහර දීම සඳහා දෙවියන් විසින් තෝරාගත් “අභිෂේක ලත්” (Anointed) නායකයා බවට හමුදා කඳවුරු තුළ මතවාද පතුරුවමින් පවතී.
මිලිටරි ආගමික නිදහස් පදනම (MRFF) වෙත ඇමෙරිකානු සෙබළුන් 110 දෙනෙකු පමණ ඉදිරිපත් කර ඇති පැමිණිලිවලට අනුව, ඒකක 40 කට අධික සංඛ්‍යාවක අණදෙන නිලධාරීන් මෙම මතය ප්‍රකාශ කර තිබේ. බයිබලයේ ‘එළිදරව්’ පොතේ සඳහන් වන ලෝක අවසානය පිළිබඳ අනාවැකි ඉටු කිරීම සඳහා ඉරානයට එරෙහිව මෙම ලේ වැකි යුද්ධය දියත් කිරීම අත්‍යවශ්‍ය බවත්, ට්‍රම්ප් ජනාධිපතිවරයා එම “දේව සැලසුමේ” ප්‍රධාන කොටස්කරුවෙකු බවත් ඔවුන් සිය සෙබළුන්ට පවසා ඇත.
මෙම තත්ත්වය ඇමෙරිකානු සෙබළුන්ගේ මානසික ඒකාග්‍රතාවයට සහ හමුදා විනයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව වාර්තා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දිවුරුම් දී ඇති තමන්ට, ආගමික මතවාද මත පදනම් වූ මෙවැනි යුද්ධයකට මැදි වීමට සිදුවීම පිළිබඳව බොහෝ සෙබළුන් සිය අප්‍රසාදය පළ කර ඇත. MRFF සභාපති මයිකී වයින්ස්ටයින් (Mikey Weinstein) පවසන්නේ, බොහෝ හමුදාපතිවරුන් මෙම යුද්ධය “බයිබලය මගින් අනුමත කරන ලද” ක්‍රියාවක් ලෙස සලකා දැඩි උද්යෝගයකින් පසුවන බවයි.
මෙම ආන්දෝලනාත්මක තත්ත්වය මැදපෙරදිග පවතින අර්බුදය තවදුරටත් සංකීර්ණ කරන බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් සහ බත්තරමුල්ලේ සීලරතන හිමියන් ද අද (06) සිය අදහස් දක්වමින් කියා සිටියේ, යුද්ධයක් සාධාරණීකරණය කිරීමට ආගමික මතවාද භාවිත කිරීම අතිශය භයානක ප්‍රවණතාවක් බවයි. විශේෂයෙන්ම ඉරාන උත්තරීතර නායකයා ඝාතනය වීමෙන් පසුව ඇති වී තිබෙන මෙම වටපිටාව ලෝක සාමයට දැඩි තර්ජනයක් බව ඔවුහු පෙන්වා දුන්හ.














