දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු මේ වන විට ඉතා විනිවිධභාවයකින් යුතුව ක්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. කොලොන්නාව ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සහන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම මානුෂීය මෙහෙයුමට හැකි උපරිම අයුරින් සහාය ලබා දෙන ලෙසයි.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ආධාර ලබා දීමේ ක්‍රියාවලිය කිසිදු පක්ෂග්‍රාහීත්වයකින් තොරව විපතට පත් වූවන් වෙත සෘජුවම ගලා යාමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි. ස්වේච්ඡා සංවිධාන, පරිත්‍යාගශීලීන් සහ පොදු මහජනතාව මේ මොහොතේ එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය අවම කර ගැනීමටත්, යළි සාමාන්‍ය ජන ජීවිතය ගොඩනැගීමටත් රජය මැදිහත් වී ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.














