මැදපෙරදිග කලාපය දැඩි යුද ගින්නකට මැදි කරමින්, ලෙබනනයේ බේරූට් අගනුවර ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල හමුදාව අද (06) අතිශය බිහිසුණු ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. බේරූට් නුවර දකුණු තදාසන්න ප්‍රදේශ ඉලක්ක කරගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරක රැල්ලේදී පමණක් අවස්ථා 15 කට වඩා වැඩි වාර ගණනක් බෝම්බ හෙළා ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.
ප්‍රහාරවල ප්‍රබලත්වය හේතුවෙන් මුළු බේරූට් අගනුවරම අහස කළු දුමාරයෙන් වැසී ගොස් ඇති අතර, නගරය පුරා සිවිල් වැසියන් දැඩි භීතියට පත්ව සිටින බව වාර්තා වේ. දකුණු තදාසන්න ප්‍රදේශවලට අමතරව, ඊශ්‍රායල හමුදාව අද දිනය පුරාම දකුණු ලෙබනනයේ අනෙකුත් ප්‍රදේශ වෙත ද අඛණ්ඩව ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් සිටින බව තහවුරු වී තිබේ.
මෙම ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානි පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති වුවද, විශාල දේපළ හානියක් සිදුව ඇති බවට සැක කෙරේ. ඊශ්‍රායලය සිය මෙහෙයුම් ලෙබනනය තුළ තවදුරටත් දැඩි කරමින් සිටීමත් සමඟ සමස්ත මැදපෙරදිග කලාපයම දැවැන්ත යුද අර්බුදයක අද්දරට පැමිණ ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














