ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ප්‍රථම වතාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉලක්ක වෙත පතිත වීමත් සමඟ, ලොව ප්‍රමුඛතම මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස ඩුබායි නගරය සතු ප්‍රතිරූපය දැඩි අභියෝගයකට ලක්ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. විශේෂයෙන්ම ඩුබායිහි වෙසෙන ඉන්දීය සහ චීන ව්‍යවසායකයන් සිය ධනය සහ වත්කම් කලාපයෙන් ඉවතට ගෙන යාමට උත්සාහ කරමින් සිටින අතර, ප්‍රහාර එල්ල වූ වහාම ඇතැම් ඉන්දීය ව්‍යවසායකයන් ඩොලර් 100,000කට අධික මුදලක් සිංගප්පූරු බැංකු වෙත මාරු කිරීමට උත්සාහ කර ඇති බව හෙළි වී තිබේ. තාක්ෂණික දෝෂ හේතුවෙන් මුලදී බාධා එල්ල වුවද, ආරක්ෂිත මාවත් ඔස්සේ සිය වත්කම් මාරු කර ගැනීමට බොහෝ පිරිසක් දැන් සමත් වී සිටිති.
සිංගප්පූරුවේ සහ හොංකොංහි ධන කළමනාකරණ ආයතන වෙත දැවැන්ත ඉල්ලුමක්
ඩුබායි නගරය මෙතෙක් පැවති “ආරක්ෂිත තෝතැන්නක්” (Safe Haven) යන නාමය යුද්ධයත් සමඟ අහිමි වෙමින් පවතින බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සිංගප්පූරුවේ නීතිඥයන් සහ ධන උපදේශකයන් පවසන පරිදි, ඩුබායිහි වෙසෙන සිය සාමාන්‍ය වත්කම් ඩොලර් මිලියන 50කට අධික සේවාදායකයන් රැසක් සිය “පවුලේ කාර්යාල” (Family Offices) සහ වත්කම් කඩිනමින් සිංගප්පූරුව හෝ හොංකොං වෙත මාරු කිරීමට විමසීම් කරමින් සිටිති. එක් ප්‍රමුඛ පෙළේ සමාගමක් පවසන්නේ පසුගිය සතිය තුළ පමණක් පවුලේ කාර්යාල 10ත් 20ත් අතර ප්‍රමාණයක් මෙලෙස ඩුබායි අත්හැරීමට අවශ්‍ය තොරතුරු විමසා ඇති බවයි.
ඩුබායිහි පවතින අඩු බදු ප්‍රතිපත්තිය සහ රහස්‍යභාවය මෙතෙක් ආසියානු ධනවතුන් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ ප්‍රධාන සාධක වුවද, මිසයිල ප්‍රහාර සහ යුදමය තත්ත්වය හමුවේ එම සහන තවදුරටත් ආකර්ෂණීය නොවන බව බොහෝ දෙනාගේ අදහසයි. ඩුබායිහි වෙසෙන ඇතැම් දේශීය ව්‍යාපාරිකයන් තවමත් නගරයේ ස්ථාවරත්වය පිළිබඳව සුභවාදීව සිටියද, විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය වේගයෙන් බිඳ වැටෙමින් පවතින බව පෙනේ. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ඩුබායි නගරයට හිමි ලෝකයේ ප්‍රමුඛතම මූල්‍ය පාරාදීසය යන ගෞරව නාමය අහිමි වී යාමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.














