ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගනිමින් ඩ්‍රෝන යානා (Drones) සහ නියමුවන් රහිත ගුවන් යානා භාවිතය, ආනයනය මෙන්ම අලෙවිය සම්බන්ධයෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ උපදෙස් නිකුත් කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඩ්‍රෝන යානා භාවිත කරමින් සංවේදී තොරතුරු රැස්කිරීම හෝ ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා ඒවා යොදාගැනීමට පවතින අවකාශය වළක්වාලීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව මෙම කටයුතු සිදු කළ යුතු වුවද, ඇතැම් ආයතන නීති විරෝධී ලෙස ඩ්‍රෝන යානා සහ ඒවායේ අමතර කොටස් ආනයනය කර අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ හේතුවෙන් ඩ්‍රෝන යානා අලෙවි කරන ස්ථාන සහ ඒවා අලුත්වැඩියා කරන මධ්‍යස්ථාන පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් නිසි දත්ත පද්ධතියක් පවත්වාගෙන යන ලෙසත් පොලිස් ස්ථාන වෙත දන්වා තිබේ.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයෙන් ඩ්‍රෝන යානා පියාසර කරවීම හෝ වෙළඳාම් කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, අදාළ පනතේ නීති රීතිවලට අනුකූලව පමණක් මෙම කටයුතු සිදු කරන ලෙස පොලිසිය ව්‍යාපාරිකයන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඉදිරියේදී බලපත්‍ර රහිතව ඩ්‍රෝන යානා සන්තකයේ තබා ගැනීම හෝ ක්‍රියාකරවීම සම්බන්ධයෙන් දැඩි සෝදිසි කිරීම් ක්‍රියාත්මක වනු ඇත.













