කොළඹට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ජපාන ස්වයං ආරක්ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF ONAMI” නෞකාවේ සිටි රෝගී වූ නාවිකයෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (06) සුවිශේෂී මෙහෙයුමක් දියත් කළා. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම ජපාන නාවිකයාට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යව තිබූ අතර, ඒ සඳහා ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඉල්ලා තිබුණා.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (MRCC) මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම සඳහා බටහිර නාවික විධානයට අනුයුක්ත යාත්‍රාවක් වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සමඟ වහාම අදාළ මුහුදු ප්‍රදේශය වෙත යොමු කෙරුණා. එහිදී රෝගියා නාවික හමුදා යාත්‍රාව වෙත ලබාගැනීමෙන් පසු මූලික ප්‍රථමාධාර ලබාදෙමින් ඉතා කඩිනමින් කොළඹ වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගත්තා.
කොළඹ වරායට රැගෙන ආ රෝගී නාවිකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කර ඇති බව නාවික හමුදාව නිල වශයෙන් තහවුරු කරනවා. ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ආපදාවට පත්වන නාවිකයන්ට සහ නෞකාවන්ට සහන සැලසීමේ ශ්‍රී ලංකාවේ මානුෂීය කැපවීම මෙමගින් යළිත් වරක් තහවුරු වී තිබෙනවා.














