ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස බලකරමින් කොළඹ දවටගහ පල්ලිය අසලදී අද (06) දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා. මුස්ලිම් ප්‍රජාව විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවයට ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කෝශ් (Alireza Delkhosh) මහතා ද සෘජුවම එක්වීම විශේෂත්වයක්.
මෙහිදී අදහස් දැක්වූ ඉරාන තානාපතිවරයා අවධාරණය කළේ තම රට කිසිවිටෙකත් යුද්ධයක් ආරම්භ නොකළ බවත්, මේ වන විට සිදුකරමින් පවතින්නේ සිය රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීම පමණක් බවත්ය. ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මගින් ඉරානයේ සිවිල් වැසියන් සහ යටිතල පහසුකම් ඉලක්ක කිරීම ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
මෙම විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇතුළු දේශපාලන නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වී සිටියා. “යුද්ධය නතර කරනු”, “තෙල් වෙනුවට ලේ එපා” වැනි සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් ඇමෙරිකාවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ අතර මැදපෙරදිග කලාපයට සාමය උදාකරන ලෙස ඉල්ලා සිටියා.














