මැදපෙරදිග කලාපය අතිශය භයානක යුදමය තත්ත්වයකට ඇද දමමින් හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකාවකට එල්ල වූ ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාරයකින් එම නෞකාව ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වයත් සමඟ කලාපීය ආරක්ෂාව දැඩි ලෙස පළුදු වී ඇති අතර, කටාර් බලධාරීන් සිය වැසියන්ට ආරක්ෂිතව නිවෙස් තුළට වී රැඳී සිටින ලෙස (Stay Indoor) හදිසි නිවේදනයක් ද නිකුත් කර තිබේ.
මේ අතර යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින් ඉරානය විසින් කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරක් ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එපමණක් නොව, ඉරාකයේ කුර්දිස්තාන් කලාපයේ ක්‍රියාත්මක වන කුර්දි විපක්ෂ කණ්ඩායම් වෙත ද ඉරානය දිගින් දිගටම මිසයිල ප්‍රහාර දියත් කරමින් සිටින බව තහවුරු වී තිබේ. කලාපීය බලවතුන් අතර හටගෙන ඇති මෙම ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළ සහ බලශක්ති සැපයුම කෙරෙහි ද දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.
කෙසේ වෙතත්, මැදපෙරදිග උද්ගතව ඇති මෙම යුද අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටෙනු ඇතැයි අනියත බියක් ඇති කර ගත යුතු නැති බව මෙරට බලධාරීන් පවසයි. රජය පෙන්වා දෙන්නේ ඕනෑම හදිසි තත්ත්වයකදී රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.














