ඉරාන යුද්ධයට අවශ්‍ය අවි ආයුධ සැපයීම සහ දැනට වැය වී ඇති මිසයිල සංචිත නැවත පිරවීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (2026 මාර්තු 06) වයිට් හවුස් (White House) පරිශ්‍රයේදී ප්‍රමුඛ පෙළේ ඇමරිකානු ආරක්ෂක සමාගම්වල විධායක නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වයි. ලොක්හීඩ් මාර්ටින් (Lockheed Martin), RTX සහ L3Harris වැනි සමාගම්වල නියෝජිතයන් සහභාගී වන මෙම රැස්වීමේදී, කොටස් නැවත මිලදී ගැනීම් (Stock Buybacks) සහ ලාභාංශ බෙදා හැරීම පසෙකලා නව නිෂ්පාදන පහසුකම් සඳහා ආයෝජනය කරන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට බලකර සිටියි. විශේෂයෙන්ම ‘Patriot’ සහ ‘THAAD’ වැනි මිසයිල ආරක්ෂණ පද්ධතිවල නිෂ්පාදනය සිව්ගුණයකින් ඉහළ නැංවීමට මෙහිදී අවධානය යොමු කෙරේ.
ඇමරිකානු අවි සංචිත හිස් වෙමින් පවතින බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින්, වයිට් හවුස් මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් (Karoline Leavitt) ප්‍රකාශ කළේ “ලෝකයේ බොහෝ පිරිසක් නොදන්නා ස්ථානවල” පවා ඇමරිකාව සතුව දැවැන්ත අවි සංචිත පවතින බවයි. “Operation Epic Fury” මෙහෙයුම සාර්ථකව නිම කිරීමට පමණක් නොව, ඉන් ඔබ්බට ගිය ඕනෑම යුධමය අභියෝගයකට මුහුණ දීමට තරම් ප්‍රමාණවත් මධ්‍යම සහ ඉහළ ශ්‍රේණියේ (Medium and Upper-medium grade) අවි ආයුධ ඇමරිකාව සතු බව ඇය අවධාරණය කළාය. එමෙන්ම, මෙම ආරක්ෂක සමාගම් සමඟ පැවැත්වෙන රැස්වීම යුද්ධය නිසා හදිසියේ කැඳවූවක් නොව සති කිහිපයකට පෙර සැලසුම් කරන ලද එකක් බවද ඇය සඳහන් කළාය.
ඉරානය සමඟ පවතින යුද්ධයේ වියදම් පියවා ගැනීම සහ වැය වූ අවි නැවත මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් බිලියන 50කට අධික අතිරේක අයවැය ප්‍රතිපාදනයක් (Supplemental Funding) ලබා ගැනීමට ට්‍රම්ප් පාලනය සූදානම් වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඇමරිකානු හමුදා දැනටමත් ඉරානයේ ඉලක්ක 2,000කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදී වැය වූ ටොමහෝක් (Tomahawk) සහ අනෙකුත් නිරවද්‍ය මිසයිල (Precision Munitions) නිෂ්පාදනය වේගවත් කිරීම මෙම අරමුදල්වල ප්‍රධාන ඉලක්කයයි. හිටපු ජනාධිපති බයිඩන්ගේ පාලන සමයේදී යුක්රේනයට අවි ලබා දීම නිසා ඇමරිකානු සංචිත දුර්වල වී ඇති බවට ලීවිට් මෙහිදී චෝදනා කළ අතර, ට්‍රම්ප් පාලනය යටතේ එම හිඩැස කඩිනමින් පුරවන බවට සහතික විය.














