ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානය විදහා දක්වන නිල යුද්ධ හමුදා ගීතය නිර්මාණය කළ ප්‍රවීණ කලාකරුවන් සහ නිලධාරීන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ සුවිශේෂී උත්සවයක් අද (06) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා. 1999 වසරේ ඔක්තෝබර් 10 වන දින යුද්ධ හමුදාවේ 50 වන සංවත්සරය වෙනුවෙන් එළිදැක්වූ මෙම අභිමානවත් ගීතය දශක දෙකකට වැඩි කාලයක් පුරා මෙරට රණවිරුවන්ගේ පෞරුෂය විදහා දක්වන්නක්.
මෙම ඇගයීම් උත්සවයේදී යුද්ධ හමුදා ගීතයේ පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්, ගීතයේ මියුරු තනු නිර්මාණය කළ ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතා මෙන්ම මෙම ගීතය නිර්මාණය කිරීමේ මූලික සංකල්පය සහ සම්බන්ධීකරණය සිදු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් එස්.ඩී. තෙන්නකෝන් මහතා වෙත විශේෂ උපහාර පිරිනැමීම සිදු කෙරුණා.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය හරහා මෙරට ආරක්ෂක අංශ සහ කලා ක්ෂේත්‍රය අතර පවතින සවිමත් සබැඳියාව යළිත් වරක් තහවුරු විය. රට වෙනුවෙන් තම නිර්මාණාත්මක දායකත්වය ලබා දුන් මෙම විශිෂ්ඨයන් හට යුද්ධ හමුදාධිපතිවරයා සිය ගෞරවනීය ස්තූතිය මෙහිදී පිරිනමා සිටියා.














