ලෙබනනය තුළ ඊශ්‍රායල හමුදා ක්‍රියාත්මක කරන දැවැන්ත ගුවන් සහ ගොඩබිම් මෙහෙයුම් හේතුවෙන් එරට සිවිල් වැසියන් අතිශය අවාසනාවන්ත මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. බීරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශ, බෙකා නිම්නය සහ ලිටානි ගඟට දකුණින් පිහිටි ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් නිකුත් කර ඇති විශාල පරිමාණයේ ඉවත් වීමේ නියෝග නිසා ජනතාව දැඩි භීතියට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ශම්දාසානි අවධාරණය කරයි.
මෙම නියෝගයන්හි ඇති ව්‍යාප්තිය සහ ස්වභාවය හේතුවෙන් ජනතාවට ඒවාට අනුගත වීම ප්‍රායෝගිකව ඉතා අපහසු වී ඇති බවත්, මෙය ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුව ‘තහනම් බලහත්කාරී අවතැන් කිරීමක්’ (Prohibited Forced Displacement) ලෙස සැලකිය හැකි බවත් ඇය පෙන්වා දෙයි. නේවාසික ගොඩනැගිලි ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර මගින් දැනටමත් පීඩාවට පත්ව සිටින සිවිල් වැසියන්ගේ දුක් වේදනා තව තවත් උත්සන්න වී තිබේ.
ගැටුම තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට දෙපාර්ශ්වයම කටයුතු කළ යුතු බව පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානය, සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ කඩිනම් මැදිහත්වීම අපේක්ෂා කරයි. ලෙබනනය පුරා පැතිර යන මෙම යුද බිය හමුවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් උන්හිටිතැන් අහිමි වීමේ අවදානමකට මුහුණ දී සිටිති.














