ඉරාන ඉස්ලාමීය පාලන තන්ත්‍රයේ අතිශය බලගතු මෙන්ම මතභේදාත්මක චරිතයක් වූ ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු සහ හිටපු නීතිපති මොහොමඩ් ජැෆර් මොන්ටසෙරි (Mohammad Jafar Montazeri) ඝාතනය කර ඇති බවට වාර්තා පළ වේ. ටෙහෙරාන් පාලනය විසින් “හිජාබය” නිසි ලෙස නොපැළඳි බවට චෝදනා කරමින් ඉරාන කාන්තාවන් සිය ගණනකට මරණ දඬුවම ලබා දීමට සහ විරෝධතාකරුවන්ට එරෙහිව දැඩි මර්දනයක් දියත් කිරීමට ඔහු මූලිකත්වය ගෙන කටයුතු කළේය. මොන්ටසෙරි යනු ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ කැනඩාව ඇතුළු බටහිර රටවල් රැසක මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත සම්බාධකවලට ලක්ව සිටි පුද්ගලයෙකි.
2016 සිට 2023 දක්වා ඉරානයේ නීතිපතිවරයා ලෙස කටයුතු කළ මොන්ටසෙරි, ඉරාන අධිකරණ පද්ධතිය තුළ “දැඩි මතධාරියෙකු” ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය. විශේෂයෙන්ම 2022 වසරේ මහ්සා අමිනිගේ මරණයෙන් පසු ඇති වූ විරෝධතාවලදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන්ට කඩිනමින් මරණ දඬුවම ලබා දීම සඳහා ඔහු විසින් රහසිගත අධිකරණ මෙහෙයුම් මෙහෙයවන ලදී. වධහිංසා පමුණුවා ලබාගත් පාපොච්චාරණ මත පදනම්ව මරණ දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් ඔහුට ජාත්‍යන්තරයේ දැඩි දෝෂදර්ශනය එල්ල වූ අතර, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) මර්දනකාරී වැඩපිළිවෙළට ඔහු නිරන්තරයෙන් නීතිමය ආවරණය ලබා දුන්නේය.
උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතම හිතවතෙකු වූ මොන්ටසෙරිගේ ඝාතනය, වත්මන් යුද වාතාවරණය හමුවේ ඉරාන පාලන තන්ත්‍රයට එල්ල වූ තීරණාත්මක පහරක් ලෙස සැලකේ. පසුගිය දින කිහිපය තුළ ඉරාන පාලන තන්ත්‍රයේ ඉහළ පෙළේ නායකයන් සහ බුද්ධි අංශ නිලධාරීන් ඉලක්ක කර එල්ල වන ඊශ්‍රායල සහ ඇමරිකානු ප්‍රහාර හමුවේ, මොන්ටසෙරි වැනි උපායමාර්ගික පුද්ගලයන් අහිමි වීම පාලන තන්ත්‍රයේ අනාගතය තවදුරටත් අවිනිශ්චිත කර තිබේ. ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඉරාන රජයේ නිල තහවුරු කිරීමක් මෙතෙක් නිකුත් වී නොමැති වුවද, විදේශීය බුද්ධි වාර්තා පෙන්වා දෙන්නේ ටෙහෙරානයේ සිදුවූ විශේෂ මෙහෙයුමකදී ඔහු මියගොස් ඇති බවයි.














