ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (06) රැස් විය. පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණු අතර එහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන්, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සහ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මීට අමතරව වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු මන්ත්‍රීවරුන් මෙන්ම විධායක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සභිකයන් ද මෙම තීරණාත්මක හමුවට එක්ව සිටියහ.
පවත්නා දේශපාලන වාතාවරණය හමුවේ පක්ෂයේ සංවිධාන කටයුතු ශක්තිමත් කිරීම සහ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇති බව වාර්තා වේ.














